අද වනවිට රටේ කෘෂිකර්මාන්තය පමණක් නොව සමස්ත ආර්ථිකයම බලවත් අගාධයක් කරා ඇදී යන්නේයැයි පෙනෙන්නට ඇති බවත් රජයේ අහංකාරකම සහ අත්තනෝමතිකත්වය මීට හේතුවී ඇති බවත් හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර පවසයි. 

“එක කන්නයක් තුළ කෘෂි රසායන සහ රසායනික පොහොර නවත්තලා කාබනික කෘෂිකර්මයට යෑමේ උත්සාහය රට මහා සාගතයකට ඇද දැමීමක් බව මම මුලදීත් ප්‍රකාශ කළා. මේ අමනෝඥ වැඩේ කරන්න එපා ජනාධිපතිතුමනි කියන එක මම එදාත් කිව්වා. 

අපේ විරෝධය හමුවේ ආණ්ඩුව අසරණවෙලා, යටත්වෙලා, දෑත් ඔසවලා යළිත් වරක් මේ රටට කෘෂි රසායන ද්‍රව්‍ය සහ පොහොර ගෙන්වන්නට කටයුතු කරන බව අපට පෙනී ගිහිල්ලා හමාරයි. රජයට මේ තීන්දුව ගන්න වීම ගැන මම සතුටු වෙනවා. හැබැයි රජයේ අංහකාරපරවශකම හා තිබෙන්නා වූ අත්තනෝමතික තත්වය යටතේ තමයි රටට මේ විනාශය වෙන්නෙ. කෘෂිකර්ම අංශයෙන් විතරක් නෙවෙයි මුළු රටේම සමස්ත ආර්ථිකය වශයෙන් ගත්තාම බලවත් අගාධයකට අද වේගයෙන් ඇදීගෙන යන බව අපට පේන්න තියෙනවා” යනුවෙනුයි ඔහු සඳහන් කළේ. 

හේමකුමාර නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (24) ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.