තමන් යටතේ පවතින ආයතන දෙකක් ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

මේ සම්බන්ධයෙන් තමාට ජනාධිපතිවරයාගෙන් ඇමතුමක් ලැබුණු බවත් ජනාධිපතිවරයා විසින් මෙම ආයතන පවරා ගනු ලැබුවේ දැනට ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇති බැවින් යැයි තමාට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එබැවින් සිය විෂය පථය යටතේ පවතින ආයතන ඉවත් කිරීම පිළිබඳ තමාට ගැටලුවක් නැතැයි ඇමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ යටතේ පවතින්නේ ආයතන දෙකක් පමණි.

ඒ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් ආයතනය යන ආයතන වේ.

මීට දින කිහිපයකට පෙර අමාත්‍ය සරත් වීරසේකරගේ යටතේ පැවති ආයතන දෙකක් නැවත ආරක්ෂක අමාත්‍යාංශය යටතට ලබා දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබුණා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් පත්‍රයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැණුනා.