කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද (17) දිනයේ දී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

ඊයේ (16) දිනයේ රැස්වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම සතිය සඳහා අද දිනයේ දී පමණක් පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කළේය.

ඒ අනුව අද උදෑසන 10 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය.

උදෑසන 10 සිට 11 දක්වා කාලසීමාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකෙරෙන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා කොවිඩ් තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත, නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන්  ද්විත්වයක් සහ රේගු ආඥා පනතේ යෝජනා ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතය.

අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කොට ඇති අතර ආණ්ඩු පක්ෂයේ ගෙන එන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ලබන මස 6 වනදා පාර්ලිමේන්තුව යළි රැස්වන අතර එදිනට වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා පමණක් කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.