අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට භාරදී තිබෙන සෞඛ්‍ය අමාත්‍යංශය කුණු ගොඩක් බවත්, මෙම කුණු ගොඩ සුද්ද පවිත්‍ර කරගෙන නොගියහොත් අමාත්‍ය රඹුක්වැල්ලත් ඉදිරි ගමනක් නැති බවත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

හිසරදයට කොට්ට මාරු කළාට පලක් නොමැති බවත්, ඇමතිවරුන් මාරු කර මෙම කොරෝනා ප්‍රශ්නයට විසඳුම් ලබාදිය නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ. 

විවිධ අවස්ථාවන්වල පාලකයන් එන යන බවත් ඒ වගේ ම මැති ඇමතිවරුන් ද එන යන බවත්, ඇතැම් ඇමතිවරුන් තමන්ගේ ගෞරවය හා ආයතන ද ආරක්ෂා කරගෙන වැඩකරන නමුත්, තවත් සමහර ඇමතිවරුන් තමන් ද විනාශ කරගෙන ආයතන ද විනාශ කරගෙන යන බවත් ඔවුන් වැඩෙන බව ද උන්වහන්සේ පවසති.

කෙහෙළිය රඹුක්වැල්ල ද මේ අවස්ථාවේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඕනෑ එපාකම් මෙන් ම ඔවුන්ගේ හද ගැස්ම තේරුම් ගෙන ඒවා සොයා බලා අවශ්‍ය පිළියම් යෙදීමට පියවර ගතයුතු බවත් උන්වහන්සේ පැවැසූහ.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (අගෝස්තු 16) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශය භාර නව අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල පත් කිරීමට රජය කටයුතු කර තිබීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ එසේ පැවසීය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිසෞඛ්‍ය සේවාව වෙනුවෙන් කළ කැප කිරීම අමතක කළ නොහැකි බව ද උන්වහන්සේ පැවසූහ.