බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කිරීමට යන පළවෙනි පනත කළු සල්ලි සුදු කරන පනතක්බවත් අයථා ලෙස ශ්‍රී ලංකාවේදී උපයා, හෙළිදරව් කළ නොහැකි වීම හේතුවෙන් විදේශවල සඟවා ඇති එම වත්කම් රජයට 1%ක බද්දක් ගෙවීමෙන් නීත්‍යානුකූල වත්කම් බවට පත්කර ගැනීමට වංචනිකයන්ට මෙයින් අවස්ථාව හිමි කරදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණු හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“මේ වනවිට පාර්ලිමේන්තුවට නව මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිවලින් මේ වනවිට හෙළිදරව් නොකළ වත්කම් සහ ආදායම් පිළිබඳව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා හෙළිදරව් කරන තැනැත්තන්ට දණ්ඩනයක් නියම නොකර සහන ලබාදීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. මේ යෝජනා කරන්නේ බිඳ වැටිලා තියෙන සංචාරක කර්මාන්තය, නැත්නම්  කොවිඩ් වසංගතය නිසා අසරණ වෙලා ඉන්න සාමාන්‍ය ව්‍යවසායකයින්  නෙවෙයි. බැංකු ණය, ලීසිං, ගෙවා ගන්න බැරිව විශාල අර්බුදයකට ලක්වූ පිරිසකගේ ව්‍යාපාර වැසී යමින් තිබෙනවා. ආණ්ඩුවක් විදිහට යම් සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. නමුත් ආණ්ඩුව මේ පනත ගෙනත් තිබෙන්නේ ඒකට නෙවෙයි. රටේ පවතින නීතිය අනුව හෙළිදරව් නොකළ, ජනතාවගේ බදු මුදල් වංචා කළ බදු හොරුන්ට, නීතියෙන් කට්ටි පැනල තියෙන හොර නඩයකට පහසුකම් සලසා  දෙන්න මේ හදන්නේ. මේක කළු සල්ලි සුදු කරන පනතක්.

ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ තමන්ගේ යාළු මිත්‍රයින්ට සහන සලසා දෙන්න. කොවිඩ් බොරදියේ මාළු බාන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ, ඒ හොර නඩයට සහන දෙන්න. බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා පත්වීමෙන් පස්සේ විශාල සහන දෙන බව ලංසා වැනි ඇමතිවරුන් කීවා. තෙල් මිල අඩුකර සහන ලබාදී ජීවන බර අඩුකරන බව කීවා. හැබැයි බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ගේන පළවෙනි පනත කළු සල්ලි සුදු කරන පනතක්.දෙසැම්බර් 31කට කලින් මේ සල්ලි පාවිච්චි කරලා කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. ඒවගේම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන භාණ්ඩාගාර  බිල්පත් සහ බැඳුම්කර මිලදී ගන්න පුළුවන්. මේ වංචනික මුදල්වලින් ලංකාව තුළ දේපළ මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙසැම්බර් 31ට කලින් බැංකු ගිණුම්වල තැන්පත් කරන්නත් පුළුවන්. මේ සිද්ධ කරන්න යන්නේ 1%ක බද්දක් ආණ්ඩුවට ගෙවලා හොරකම් කළ, වංචා කළ, මුදල් නීත්‍යානුකූල කිරීමයි.  භාණ්ඩාගාරයේ පතුළ හිස්වෙලා තියෙන බව ඇත්ත. ඒකට මුවා වෙලා අද සිද්ධ කරන්න යන්නේ තමන්ගේ ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් හොයන ලද මුදල්වලට සුජාතභාවයක් ලබා දීමයි. දැන් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කරලා ඉදිරි කාලයේදී සම්මත කරගන්න යන්නේ එවැනි බරපතළ පනතක්.