වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. 

බැසිල් රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්,  ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් හමු වූ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හරිත ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙළ යටතේ රටේ අනාගත පරපුරට බලපාන ප්‍රධාන කරුණු විසි හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර එම  යෝජනා සාර්ථක කර ගැනීම සඳහා සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළට ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද රාජපක්ෂ මෙහි දී පැවසීය.

තමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අර්ථ සාධක අරමුදලෙන් 14% ක බද්දක් අය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ද මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්,  අනවශ්‍යය වියදම්,වංචාව,දූෂණය හා නාස්තිය අවම කරමින්  මනා මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේ සියලුම මහජන නියෝජිතයන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේත් සහාය බලාපොරොත්තු වන බව ද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.