බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණියද ඔහුට වත්මන් ගැටළු සම්බන්ධයෙන් කිසිවක් කිරීමට නොහැකි බවත් රටේ අර්බුද නිර්මාණය වූයේ ඔහුගේද සහභාගීත්වයක් සහිත රජයක් යටතේ බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ හට අමාත්‍යධූරයක් ලබාදීමේ සූදානම පිළිබඳව ඊයේ (01) මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දෙමින්.

“බැසිල් රාජපක්ෂ මහත්තයත් පහුගිය කාලයේ ඇමති නොවුනට ඇමතිවරයෙක්ට වඩා බලතල තිබිච්ච නායකයෙක් වෙලා හිටියා. එතුමා තමයි හැමදේකටම මැදිහත් වෙලා වැඩකටයුතු කළේ. ආයෙ පාර්ලිමේන්තු ඇවිත් කරන්න පුළුවන් දෙයක් නෑ. එහෙම ආවයි කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. මේ ප්‍රශ්න ඇතිවුනේ එතුමත් ඉන්න ආණ්ඩුවක් ඇතුලේ.

මේ වැඩකරන ක්‍රියාදාමය ගැන ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිකංම නිකන් රබර් මුද්‍රා බවට පත්වෙලා තියෙනවා. කැබිනට් ඇමතිවරුන්ටත් මේ ටිකමයි වෙලා තියෙන්නේ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.