දිගින් දිගට ම රට තුළ බොහෝ ආයතන වසා තැබීම හේතුවෙන් එම ආයතන අඩපණ වනවා මෙන් ම ඉන් රජයට ද දැඩි බලපෑමක් එල්ල වන බැවින් හැකි ඉක්මනින් රට සම්පූර්ණයෙන් ම විවෘත කිරීමට අවශ්‍ය බව මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

(ජූලි 01) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. 

මහ බැංකු වාර්තා අනුව 2021 වර්ෂයේ මෙරට තුළ 6%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කර ඇති නමුත් පවතින කොවිඩ්-19 තුන් වන රැල්ල හමුවේ එම ආර්ථික වේගය 4 1/2% – 5% පමණ අගයක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ඔහු එහිදී සඳහන් කළේය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජීවිතය රැක ගැනීමට රට වසා තැබීම සිදු වුවත් එහෙයින් ම ජීවනෝපායන් අහිමි වුවහොත් එය ද ජීවිත තර්ජනයන් ඇති වීමට හේතු විය හැකි බවය.

“ජීවිතය වගේ ම ජීවනෝපායත් වැදගත්. මොක ද ජීවිතය රැක ගැනීම අපි හැමෝම කළ යුතුයි. ජීවිනෝපායත් රැක ගැනීම අනිවාර්යෙන් ම කළ යුතුයි. ඒකත් නොකර හිටියොත් සමහර විට ජීවිතයටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ජීවිතේටත් බලපෑමක් වෙන්න පුළුවන් ජීවනෝපාය නැති වුණා ම. දහස් ගණනකට ජීවනෝපාය නැති වෙන විදියට අපි කටයුතු කළ යුතු නැහැ.”