ඇමතිවරයෙක් ගුරුවරුන්ට කාලකන්නි කිව්වා, කැබිනට් එකත් කාලකන්නි කළා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් කාලකන්නි කළා යැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පැවසීය.

දිලිප් වෙදආරච්චි මෙසේ පැවැසූයේ ඊයේ(01) සමඟි ජනබලවේගයේ බෙලිඅත්ත කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය. 

“අද මුළු රටේම ජනතාව පාරට බහිනවා. තෙල් ප්‍රශ්නය නිසා ධීවරයා මහපාරට බැස්සා. ගුරුවරු මහපාරට බැහැල තියෙනවා. තමන්ගේ අයිතිය රැක ගන්න පාරට බැස්සේ අවුරුදු 23කට ඉස්සරවෙලා. 2008 දී මේ වගේම පෙළපාලි ගියා.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ අයව කැඳවලා කිව්වා යුද්ධෙ තියෙන වෙලාවෙදි මෙහෙම කරන්න බැහැ. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. යුද්ධය ඉවර කරන්නම් මේ දරුවො බලාගන්න කිව්වා. 2008 සිට අද වෙනකල් නැති නිසායි ගුරුවරු මහපාරට බැස්සේ. සාධාරණයි ගුරුවරු පාරට බැස්ස එක.

පසුගිය අපේ යහපාලන ආණ්ඩුවෙන් ගුරුවරුන්ට රුපියල් දහදාහක් වැඩිකරලා දුන්නා. ඒවායේ කෙළෙහිගුණ දැක්වූයේ නැහැ. ඒකෙ ප්‍රථිඵලය තමයි ඔය යන්නේ. අපි ගුරුවරුන්ට ආදරෙයි. දෙවිවරු වගේයි අපි ගුරුවරුන්ට සලකන්නේ. නමුත් දිට්ඨදම්මවේදනීය කර්මය පඬිසන් දුන්නා. ඒකයි වෙලා තිබුනේ. නමුත් අපි ගුරුවරුන්ට හැමදෙයක්ම දෙන්න කටයුතු කරනවා.

කැබිනට් එකේ ඉන්න ඇමතිවරයෙක් ගුරුවරුන්ට කාලකන්නි කිව්වා. කැබිනට් එකත් කාලකන්නි කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් කාලකන්නි කළා. සියලුම සංහතියම කාලකන්නි කළා. ගුරුවරුන්ගෙන් ඉගෙනගත්ත නැති කෙනෙක් තමයි ඔය.”