රජය වර්තමානයේ ගමන් ගන්නා මග සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් මෙලෙස කටයුතු කළහොත් තම පක්ෂයටද අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයට අත්වූ ඉරණම බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඒ, පෙරේදා (31) දින බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්.

ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් 69ලක්ෂයක ජනතාව මෙන්ම තමාද සිටින්නේ කලකිරීමෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ ‘එක රටක් – එක නීතියක්’ ප්‍රතිපත්තියක්‍රියාත්වම වන්නේදැයි සැකයක් පවතින බවත් පාස්කු ප්‍රහාරයේ චූදිතයන් පාර්ලිමේන්තුවේ පවා සිටින බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට අති මහත් බහුතරයක් ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගනු ලැබුයේ එක රටක් එක නීතියක් වෙනුවෙනුයි . නමුත් අපිට සැකයක් මදිපුංචිකමක් මේ වන විට දැනෙමින් පවතිනවා . බැඳුම්කර හොරු ටික ඇල්ලුවද ? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවමත් නිදැල්ලේ . මෙහි ප්‍රධාන චූදිතයෝ තාම නිදැල්ලේ . සමහර අය පාර්ලිමේන්තුවෙත් සිටිනවා . මේ ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා .

කාබනික පොහොර සංකල්පය බොහෝම හොඳ සංකල්පයක් . නමුත් අවාසනාවකට මෙය එකසැරේ කරන්න බැහැ . ඊට යම් කාලසීමාවක් අවශ්‍යයි . පස හා පැළෑටි කියන්නේ පණ තියෙන දේවල් . ඒ නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි . මෙරට පස හා පැළෑටි වසර හතළිහකට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරු වෙලයි තිබෙන්නේ . පසට හා පැලෑටි වලට අවශ්‍ය දේ අපි දිය යුතුයි . එම නිසා ඒ ගැන සිතා කටයුතු කළ යුතුයි . එය එක රැයකින් කළ හැකි දෙයක් නොවෙයි . එහෙම කරන්න ක්‍රමයක් තිබෙනවා .

බෝගම්බර බන්ධනාගාරයේ පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරලයි තිබෙන්නේ . එවැනි ස්ථාන එක් එක්කෙනාට ඕනෑ ආකාරයට කඩා ඉවත් කළ නොහැකියි . මේ ගොඩනැගිලි කඩා ඉවත් කරනවා යැයි කීවේ කවුදැයි යන්න මටත් ප්‍රහේලිකාවක් . මේවා අපගේ ජාතිය සතු සම්පත්”