වත්මන් රජය විසින් රුපියල් 100 ක දෛනික වැටුප් වැඩි කිරීම සඳහා පනත් සම්මත කර ගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඒ, අද (04) දින පාර්ලිමේන්තුව අමතමින්.

මහ බැංකුව විසින් සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක මාසික වියදම සඳහා අවම රුපියල් 50,000 ක මුදලක් අවශ්‍ය බව වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබියදී රජය විසින් මෙයාකාරයෙන් කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

මෙම පනත හරහා කම්කරුවකුගේ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ දැමීමට මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා කරන බව පෙන්වා දෙන විජිත හේරත් පවසන්නේ රුපියල් 500 ක දෛනික වැටුපකට සේවය කරන කම්කරුවන් සිටින්නේ කොතැනද යන්න මෙම පනත සකස් කළ පුද්ගලයන් විසින් පෙන්විය යුතු බවයි.

ජීවන වියදම වැඩිවීම, වෙනත් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කරන ගුරුවරුන් කාලකන්නි ලෙස හැඳින්වීම හැර ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ඇමතිවරුන් මැදිහත් නොවන බව පෙන්වා දෙන විජිත හේරත් ප්‍රකාශ කරන්නේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී ගුරුවරුන්ට පාරට බැසීමට සිදුවූයේ කාලකණ්ණි ඇමතිවරුන් නිසා බවයි.