පාර්ලිමේන්තුවට යාබද ජපන් මිත්‍රත්ව පාරට මායිම්ව අති විශාල භූමිභාගයක කිසියම් අලුත් ඉදිකිරීම් සමූහයක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලහි ලහියේ ආරම්භ කරන ලදි.භූමියේ සැලකිය යුතු ඉඩක් කොන්ක්‍රීට් අතුරා පටු මංමාවත් තනා බැලූ බැල්මට යුධ ස්මාරකයක් ගොඩනැගෙන ආකාරයට ගොඩනැගීම් සිදුවිය.

පසුගිය ජූලි 20 වනදා විවෘත වනවිට දැනගන්නට ලැබුනේ එය සඳුන් අරණක් බවයි. විවෘත කිරීමේ අවස්ථාවට ඇමතිවරු පස් දෙනෙක්, රාජ්‍ය ඇමතිවරයෙක්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන් දෙනෙක්ද, අමාත්‍යංශ ලේකම්වරු සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුලු පිරිසක්ද සහභාගී වූහ. මෙම භූමිභාගය අක්කර 9 ක් බව නාගරික සංවර්ධන අධිකාරිය ඒ ගැන නිකුත්කල නිවේදනයේ දැක්වෙයි.ඒ අනුව පැහැදිලි වන්නේ භූමිය ආර්ථික වශයෙන් ඉතාම වටිනා තැනක් බවයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය අනුව යමින් රට හරිත කලාපයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙලට සමඟාමීව මෙම සඳුන් අරණ ඉදිකර තිබේ. ලංකාවේ දුර්ලභ රත් සඳුන් ශාක 300ක් සහ සුදු සඳුන් ශාක 900කින් මම උද්‍යානය අලංකාර කර තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය සිය නිවේදනයෙන් කියයි. ආහාරපාන ලබාගැනීමට අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වාහන 60ක් නවතා තැබිය හැකි රථගාලක් ද සඳුන් අරණයට අයත් ය.

එහි තිබෙන උස් වේදිකාව සංගීත සංදර්ශණ සහ සංස්කෘතික උළෙල හා විවිධ සංදර්ශණ පැවැත්වීමට හැකියැයිද අධිකාරිය කියයි. සමස්ථ ව්‍යාපෘතිය සදහා රජය ආයෝජනය කල මුදල රුපියල් මිලියන 294කි. ඒ කියන්නේ කෝටි 29.4 කි. මේ කෝටි 29.4 වියදම් කර තිබෙන්නේ සඳුන් පැල 1200ක් සිටුවීමටය. පැල කියන්නේ ගස් නොවේ. සඳුන් පැල වැඩී ගස් වූවාට පසු ඒවාට මූල්‍යමය වටිනාකමක් එකතු වුවත්, දැන් ඒවා පැල හැටියට ඒවාට ඇත්තේ අඩු වටිනාකමකි. කොහොම වුණත් ඒවා ලංකාවේ දුර්ලභ යැයි කියන වර්ගවලට අයත් බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. නිකමට මෙන් සඳුන් ගසක වටිනාකම මෙසේ ගණන් හැදිය හැකිය. අක්කර 9 ක් වන මේ මුළු බිමේ පර්චස් 1440ක් තිබේ. ජපන් මිත්‍රත්ව මාර්ගය යාබද නිසා එහි වටිනාකම මෙතෙකැයි කියන්නට පුළුවන්කමක් නැත. කෙසේ වෙතත් ඊට වටිනාකමක් ඇත. මුළු වියදම රුපියල් මිලියන 29.4 ක් වනවිට. එක් පර්චසයක් සඳහා රුපියල් 204,166 ක මුදලක් ආසන්න වශයෙබ් මෙම සඳුන් අරණ. සඳහා වියදම්කර තිබේ. සඳුන් ශාක 1200ක් ලෙස ගත්විට එක පැලයක් සඳහා වැයවී ඇති දළ මුදල රුපියල් 245,000. පමණ වෙයි. මේ, භූමියේ ඇත්ත වටිනාකම ඇතුලත් නොකරය. දැන් ඇත්ත ප්‍රශ්නය වෙත යා හැකිය.

රට තිබෙන්නේ කඬාවැටෙන ආර්ථික අවදානමකය. අතේ සල්ලි නැතිකමින් රජය අනතුරේ වැටී ඇත. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල පෙර සිටම පුහුණු කරගෙන ආ නැව ගිලුණත් බෑන් චූන් පන්නයේ උද්‍යාන, ක්‍රීඩාගාර, ක්‍රීඩාංගන ආදිය නිමවීමේ වැඩපිළිවෙල නැවතී නැත. බැලූ බැල්මට මේවා ලස්සනය. හිත් ඇදගන්නා සුළුය. දුර්ලභ සඳුන් පැල 1200ක් කියූ විට සමහරු සාධුකාර වුණත් දෙන්නට බැරි නැත. එහෙත් ඇත්ත කතාව නම් මේවා වසංගත කාලයක කෙරෙන නාස්තිකාර වියදම් බවයි. රට සදාහරිත කිරීමෙව් අටියෙන් කල බව කීවත් මේ භූමියේ කොන්ක්‍රීට් අතුරා ඇති, කොන්ක්‍රීට් වේදිකා හා ගොඩනැගීම් කර ඇති ඉඩ සළකා බැලුවොත් රට සධාහරිත කරනවාට වඩා කොන්ත්‍රාත්කරුවන් සදාහරිත කිරීමට දෙන වැඩ බව නම් පෙනෙයි.

-රුක්ෂාන් පරණවිතාන