රත්නපුර, රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80ක නිල් මැණික් පොකුරක් හමුවී ඇති බව වාර්තා වෙයි.

එම නිල් පොකුර මේ වන විට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව පවතින අතර, එය පරීක්ෂා කිරීම සඳහා අද (30) දින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරී පැමිණ තිබුණි.

එහිදී එය එම ආයතනයට භාරදීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කර ඇති අතර, බලධාරීන් ඔහුට පොරොන්දු වී ඇත්තේ එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කරන බවය.

මේ අතර පසුගිය දා ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය  ශ්‍රී ලංකාවේ රත්නපුරය, කහවත්ත ප්‍රදේශයෙන් හමුවිය.

එම මැණික් පාෂාණය නිවෙසක් පිටුපස ළිඳක් හාරන විට අහම්බෙන් හමුවී ඇති බව සඳහන් ය.