ධනුෂ්ක ගුණතිලකට සහ කුසල් මෙන්ඩිස්ට වසර 02 බැගින් හා නිරෝෂන් දික්වැල්ලට මාස 18ක ක්‍රිකට් තරග තහනමක් පැනවීමට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ පංච පුද්ගල කමිටුවක් විසිනි.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නිමා වූ එංගලන්ත තරග සංචාරයේදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට තරග තහනමකට ලක් කෙරිණි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර, ඊට ඇතුළත් වූයේ විශ්‍රාමික විනිසුරු නිමල් දිසානායක, නීතිඥවරුන් වන පණ්ඩුක කීර්තිනන්ද, අසේල රැකව, උචිත වික්‍රමසිංහ, විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව් ද සොයිසා යන මහත්වරුන් ය.

එම කමිටුව අද(29) පස්වරු 2.00ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රැස් විය.

කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී ඇතැයි පැවසෙන නිර්දේශ අනුව තරග තහනමට අමතරව අදාළ ක්‍රීඩකයින් තිදෙනාට ඩොලර් 25,000ක දඩයක් ද නිර්දේශ කර තිබේ.

නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව හෙට(30) ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නේ ද යන බලය විධායක කමිටුව සතු ය.