අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සමග අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ආපසු පැමිණීමෙන් පසුව හෙක්ටර් අප්පුහාමි මහතා mawbima.lk වෙබ් අඩවියට මේ බව ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා දේශපාලන සිරකරුවෙකු බවට පත්ව ඇති අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය මෙන් ම ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ද දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවය.

“රන්ජන් රාමනායක කියන්නේ මිනී මරලා, හොරකම් කරලා හිරේ ගිය කෙනෙක් නෙවේ. එතුමාට ජනාධිපති සමාව නොදී ඉන්න තරම් සාධාරණ හේතුවක් නෑ. මේ රටේ මිනී මැරුම් චෝදනාවලට වැරදිකරුවන් වූ අයටත් ජනාධිපති සමාව දීලා තියෙනවා. ඒ නිසා රන්ජන් මැතිතුමාට සමාව නොදී ඉන්න හේතුවක් නෑ. අපි‌ මේ අසාධාරණය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වගේ ම තානාපතිවරුනුත් දැනුවත් කරන්න පියවර ගන්නවා. අපි ඔහු බේරා ගැනීමේ අරගලය තීව්‍ර කරනවා,” හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

ඔහු රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් පිළිබඳව ද පැහැදිලි කළේය.

“එතුමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙනවා. ඒත් නිතර ම සමාජයත් සමග එකට හිටිය එතුමාව ලංකාවේ කොණක තියෙන බන්ධනාගාරයක හුදෙකලා කරල තියෙන එක ගැන එතුමා ගොඩක් කණස්සල්ලෙන් ඉන්නෙ. එතුමා කොළඹට ආසන්න බන්ධනාගාරයක හිටියා නම් එතුමාගේ හිතවතුන්ට නිතර ගිහින් බලන්නවත් තිබුණා. එතුමා ආසාවෙන් ඉන්නවා ගෙදරින් ගේන කෑම ටිකක් කන්න. ටිකක් හිතවත් කෙනෙක් එක්ක කතා කරන්න. මේ සියල්ල ඔහුට දැන් අහිමි වෙලා. ඔහු මේ රටේ ගොඩක් වැරදි ගැන හඬ නගපු කෙනෙක්. ඔහුට නිදහස දිය යුතුයි.”