පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ද එය අනුමත වියයුතු බවට තීන්දුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් වසන්ත බණ්ඩාර සහ නීතිඥවරුන් වන රාජා ධර්මසිරි ගුණරත්න සහ නුවන් චාමර ඉඳුනිල් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කරන ලදී.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් ඉකුත් 03 වනදා,  “2021  මානව හිමිකම් සංවිධාන පනත් කෙටුම්පත” යනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති බවය.

එම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කෙරෙන මානව හිමිකම් සංවිධානවලට පොලිස් ස්ථානවලට ඇතුළු වී විමර්ශන පිළිබඳව සොයාබැලීමට හැකියාව සැලසෙන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් ඒ හරහා නීතියේ ආධිපත්‍යය කප්පාදුවීමක් සිදුවන බව පවසයි.

එබැවින් අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත්කර තිබුණි.