දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවු​ව හොත් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා එසේ පැවසුවද, මෙම සතිදෙක වඩාත් තීරණාත්මක බැවින් පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බවයි මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසන්නේ.

අද (12) දින රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ විවාහ මංගල උත්සව, අවමංගල උත්සව, කාය වර්ධන මධ්‍යස්ථාන වලට ඉඩ නොදිය යුතු බවයි. වෛරසය බෝ වීමේ ඉහළ ඉඩකඩක් මෙවැනි ස්ථාන වල තිබිය හැකි බැවින් එම ස්ථාන සහ ක්‍රියාකාරකම් වහාම අවලංගු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මේ සති දෙක පාරට බහින්නේ නැතුව රජය සහ අදාළ පාර්ශ්වයන් එකතු වෙලා අඩුම ගානේ මේ සති දෙක මේක ගොඩ දාන්න අවස්ථාවක් කරගන්න ඕනේ. දැන් තියෙන තත්ත්වය අනුව දිස්ත්‍රික්ක හැර අනෙක් හැමෝම සංචරණය කරලා තියෙන්නේ. දිස්ත්‍රික්ක ගිහින් නෑ..මිනිස්සු ගිහින්.” යැයි වත්මන් තත්වය පැහැදිළි කරමින් ඔහු පවසන ලදි.