පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබූ කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමා අද (ජූලි 15) දිනට වසරක් ගත වී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඒ හේතුවෙන් අද දින එම ස්ථානයේ විරෝධතාවක් පැවැත්වුණු බවය. 

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උදස්ගිරියේ සමිත හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි විරෝධතාවක නිරත වූහ.

එහිදී නාමල් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේ ය.

“අදට මෙම ස්ථානය කඩා බිඳ දමා වසරක් පිරෙනවා. මෙම ස්ථානය කඩා බිඳ දමා මාස නමයක් ගත වුණාට පසු කුරුණෑගල පොලිසිය නගරාධිපතිවරයාගේ උපන් දිනය සමරා පාටි දමා කේක් කැපුවා. ඉතින් කොහොම ද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ?” 

13 වන සියවසට අයත් කුරුණෑගල යුගයේ ඉදි කළ බව කියන කුරුණෑගල පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් ඩෝසර් යන්ත්‍ර යොදා කඩා ඉවත් කර තිබුණේ ඉකුත්හ් වසරේ ජූලි 14 වන දා ය.

කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව පැවති බව කියන මෙම ගොඩනැගිල්ලේ පසුකාලීනව හෝටලයක් පවත්වාගෙන ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා පවසා තිබුණේ, මහා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පවරා දී තිබූ බවය.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත් කළ අතර එහි අන්තර්කාලීන වාර්තාව එම වසරේ ජූලි 22 වන දා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබිණි.

– උපුටා ගැනීම මව්බිම පුවත්පත