අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙස රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව ඇය පැවසුවාය.

“කොවිඩ් මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැලඳී ම වළක්වා ගැනීම. මේ මාසය හරි අවදානම්. ගෙදරට ම වෙලා ඉන්න.” 

ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඒ බව කීවාය.

මෙහිදී වැඩි වැඩිදුරටත් අදහස් දැක්වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,

“මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්.”