පසුගිය සති කිහිපය පුරාම අමාත්‍ය මණ්ඩල සංශෝධන සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා කිහිපයක්ම පැතිර ගොස් තිබිණ. ජනාධිපතිවරයා ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදීමට නියමිත බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අලුත් තරුණ දක්ෂ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුට කැබිනට් ඇමැති ධුර හිමිවීමට නියමිත බවත්, ආන්දෝලනයට ලක්ව සිටින කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුටම වෙනත් තනතුරු ලැබීම නියමිත බවත් එම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි. නමුත් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන නිශ්චිත දිනයක් එහිදී නොකියවුණත් අගෝස්තු මාසයේ දින කිහිපයක්ම එහිදී නිල නොවන ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බවක්ද කියවිණ.

ඒ කෙසේ වෙතත් ඉකුත් සතියේදී මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රධානීන් නිශ්චිත තීන්දුවක් ගෙන ඇති බවක් දැනගන්නට ඇත. ඒ, ආණ්ඩුවේ සිටින එක්තරා ප්‍රබල ඇමැතිවරයකු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් හට වාර්තා වූ තොරතුරු කිහිපයක් මුල් කරගෙනය. එම තොරතුරු වාර්තා වීමත් සමග දැඩි විශ්වාසයක් තබා එම ප්‍රබල තනතුර එම අමාත්‍යවරයාට භාරදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන් මේ වන විට තීරණය කර ඇත්තේ ඉතා නුදුරේදීම මෙම කැබිනට් අමාත්‍යවරයාගේ තනතුර ඉවත් කිරීමටය. ඒ සමගම තවත් ඇමැතිකම් කිහිපයකම සංශෝධන සිදුකරන්නේද, එසේත් නැත්නම් පූර්ණ ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකරන්නේද යන්න පිළිබඳවද මෙහිදී ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවක් දැනගන්නට ඇත.

– උපුටා ගැනීම මව්රට පුවත්පත