එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රීකාවෙන් සිය ගැටලු සඳහා පිළිතුරු නොලැබුණහොත් අරගලය නව මාවතකින් ඉදිරියටම ගෙනයන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, අද (31) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ගුරු – විදුහල්පති සංගම් ආරම්භ කළ වර්ජනයට අදට දින 20ක් සම්පුර්ණ වේ.

“අද වෙනකොට අපේ මේ අරගලය උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩුව මේ වෙනකොට අපිට කියලා තියෙන්නේ, එළඹෙන සඳුදා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් සකස් වෙන බව. එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉතාම තීරණාතමකයි කියලා කියන්න ඕනේ. සුබෝධනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම. ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කිරීම. කැබිනට් තීරණයක් නොගත්තේ නම් අපිට වෙනවා අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ගය ඉස්සරහට ගන්න. අපිට පිළිගත හැකි තීන්දුවක් නොගත්තේ නම් අපිට වෙනවා අනිවාර්යෙන්ම අපේ ක්‍රියාමාර්ග ඉදිරියට කරන්න. අරගලය එළඹෙන සතියේ දී නවමානයකට ගෙනියෑමට  සියලු කටයුතු සැලසුම් කරනවා.“

අද දිනයේද දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගුරුවරුන් සිය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස විරෝධතා පැවැත්වු අතර ඊට විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ද විශාල වශයෙන් එක්ව සිටියේය.