යුධ හමුදාවට බැලස්ටික් හෙල්මට් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කල ටෙන්ඩරය මෙතෙක් එම හෙල්මට් යුධ හමුදාවට සැපයූ දේශීය නිශ්පාදන ආයතනයට ලබානොදී චීනයෙන් ආනයනය කර සැපයුම් කරන ආයතනයකට ලබාදී ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වන්නේ ඒ සම්බන්ධයෙන් එම දේශීය නිශ්පාදන සමාගම වන හර්ෂ ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපතිවරයා දැනුවත් කරමින් අගෝස්තු 02 දින සහිතව යවන ලිපියක් මගින් ය. එම ලිපියේ පිටපත් මුදල් ඇමතිවරයාට, ජනාධිපති ලේකම්වරයාට, භාණ්ඩාගාර ලේකම්වරයාට, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට හා යුධ හමුදාපතිවරයාට යොමුකර ඇත.

එම ටෙන්ඩරයට අදාළ ඇණවුම විදේශයෙන් ආනයනය කර ලබාදෙන රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට ලබාදීමට ප්‍රසම්පාදන කමිටුව ජූලි 29 දින තීරණය කර ඇතැයි දැනගන්නට ලැබුනු බව එම ලිපියේ සඳහන් වේ. එසේ ඇණවුම ලබාදෙන්නට යන්නේ ඇමරිකානු ඩොලර් වලින් මිල ගණන් ඉදිරිපත් කල රාජ්‍ය ආයතනයට බවත් ඒ මගින් විදේශ විනිමය පිටරටට ගලායෑම සිදුවන බවත් එහි අවධාරණය කර තිබේ.

එමෙන්ම දේශීය නිශ්පාදන සඳහා ලබාදෙන සියයට 20ක සහනය මෙහිදී සලකා බලා නැති බවත්, එම හෙල්මට් ආනයනය සඳහා මෙතෙක් පැවති රේගු සංකේත අංකය වෙනස් කිරීම මගින් එම ආනයනයන් සඳහා අඩු බදු මුදලක් පනවා මිල අඩු කිරීමක් කර ඇති බවත් එහි පෙන්වා දී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ අපගේ මූලාශ්‍ර තවදුරටත් තහවුරු කරනු ලැබුයේ යුධ හමුදාව සඳහා ටී ෂර්ට් ලබාගැනීමේ ටෙන්ඩරයද චීනයෙන් ආනයනය කර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් වකින් මිල ගණන් ඉදිරිපත් කර තිබූ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට ලබාදුන් බවය.

ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත