ජනතාවගේ ආරක්ෂාව සඳහා රට සති දෙකකට “ලොක්ඩවුන්” කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.

එන්නත්කරණ කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දෙන යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට ස්තූතිය පුද කරන බවද හෙතෙම සඳහන් කළේය.

රජය මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවත් රටේ කොවිඩ් එන්නත්කරණය වේගවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවේය.

තුන්වැනි එන්නතටත් යා යුතු බව විපක්ෂනායකවරයා කීවේය.

කොවිඩ් මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික සේවකයන්ද කැඳවිය යුතු බව පැවසූ ප්‍රේමදාස මහතා විදේශයන්ගෙන් උපකරණ ලබා ගැනීමට තානාපති සේවය හරහා කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

මෙපමණ ව්‍යසනයක් ඇතිවී තිබියදීත් ආපදා කළමනාකරණ කමිටුව කැඳවා නැති බවත් එය වහාම අරඹන්නයි තමා රජයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

රට ලොක්ඩවුන් නොකරන්නට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලටත් ලොකු අවදානමක් මතුවීම වැළැක්වීමට නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

රටේ ජනතාවට මූල්‍ය උත්තේජක පැකේජයක් හඳුන්වා දිය යුතු බවත් ලෝකයේ බොහෝ රටවල් එවැනි පැකේජ හඳුන්වාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

බංග්ලාදේශය පවා එවැනි ආර්ථික උත්තේජන පැකේජ හඳුන්වා දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.