යෝජිත මුදල් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අද වෙන වෙනම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් ජුලි 20 වැනි දා ඉදිරිපත් කළ මුදල් පනත් කෙටුම්පත මගින් අතැම් නීති යටතේ හෙළිදරව් කළ යුතු නමුත් හෙළිදරව් නොකල බදු අය කළ හැකි ආදායම් පිළිබඳව ස්වේච්ඡාවෙන් හෙළිකර සහන ලබා ගැනීමට හැකි පරිදි නීති සංශෝධනය කිරීමට මේ කෙටුම්පතෙන් යෝජනා කර තිබේ.

අද ශ්‍රේෂ්ඨාධිකරණයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ගොනුකළ පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ, නොගෙවූ බදු ස්වේඡාවෙන් හෙළිදරව් කිරීමේ බද්ද ලෙස පැනවීමට යන සියයට 1 බද්ද සාමාන්‍ය පුද්ගලයෙකුගේ බදු ප්‍රතිශතයට වඩා ඉතා අඩු ප්‍රමාණයක් බවයි.

ඔහු මෙවැනි බදු සහන ලබා දීමෙන් එම සහන හිමිවන පුද්ගලයින්ගේ බදු වංචා නීත්‍යානුකූල වන බවයි.

මෙම පනත් කෙටුම්පතේ ඇති වගන්ති මගින් මෙරට බදුගෙවන ජනතාවට අසමාන ලෙස සැලකීමක් සිදුවන බවට මෙම පෙත්සමෙන් තර්ක කර ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා ද අද මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කළේ ය.