රටේ අනාගත පරම්පරාව මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන ජාතියක් ලෙස ලෝකයට ඉදිරිපත් කිරීමට හැකි වන්නේ නම් එය යම් දිනක සතුටු විය හැකි කරුණක් වනු ඇතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.

”අපේ අනාගත පරම්පරාව මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන ජාතියක් විදිහට අපිට ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතනවා අපිට අපේ අවසාන කාලයේදී සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන් වෙයි කියලා”

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, නාවික හමුදාව විසින් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ වරායට රැගෙන එනු ලැබූ හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ, ආරක්ෂක අංශ වැටලූ පළමු හෝ අවසන් කුඩු තොගය මෙය නොවන බවයි.

”විශාල දුරක් ගිහින් තමයි මේක කරන්න පුළුවන් වුණේ, ඒකෙන් නාවික හමුදාවේ දක්ෂතාවය අපිට පැහැදිලි වෙනවා. මෙතන කිලෝ 300 ක් තියෙනවා. මේකේන් කීදෙනෙකුට එක පාර පාවිච්චි කරන්න තියෙනවා කියන එක ගනන් හදලා හිතා ගන්න පුළුවන්. මට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා කිව්වා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තූති කියන්න කියලා මෙච්චර කැපවීමෙන් මේ රාජකාරිය කළාට”

හෙරොයින් කිලෝග්‍රෑම් 336 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාව සැකකරුවන් 7 දෙනෙකු ද සමග එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, ශ්‍රී ලංකා පොලිසියට හා නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ වැටලීමකදී ය.

නාවික හමුදාව සඳහන් කළේ, අදාළ මත්ද්‍රව්‍ය තොගයේ විථියේ වටිනාකම රුපියල් මිලියන 3100 කට අධික බවයි.

මෙරට මුහුදු සීමාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා මත්ද්‍රව්‍ය රැගත් යාත්ත්‍රාවක් පිළිබඳව බුද්ධි තොරතුර ලැබී තිබූ අතර නාවික හමුදාවේ සමුදුර නෞකාව සති තුනක පමණ සිට මේ පිළිබඳව විමසිල්ලෙන් සිට තිබේ.

සැක සහිත විදේශීය ධීවර යාත්‍රාව ගැන නීරීක්ෂණයට සමුදුර දියබට ගොස් ඇත්තේ, අගෝස්තු 12 වනදායි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.