තිස්සමහාරාමය තිස්ස වැවේ රොන් මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින් මහජන චීන විමුක්ති හමුදාවට අයත් පිරිසක් නොවන බව තහවුරුවී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය එය සනාථ කර ඇති බවයි. අදාළ සේවකයන්ගේ ඇඳුම අදාල විදේශ සමාගමේ සේවකයින් අඳින ඇඳුමක් වන අතර එය හමුදා කැලෑ ඇඳුමට සමානවීම හමුවේ දැඩි කථාබහක් නිර්මාණය වී තිබුණා.

කෙසේවෙතත් ඉදිරියේදී එවැනි ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස අදාල ආයතනය දැනුවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙවැනි තත්වයන් මින් ඉදිරියට නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අදාල දේශීය පෞද්ගලික ආයතනයද දැනුවත් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය කියාසිටියේ.

එවැනි ඕනෑම උත්සාහයක් වැළැක්වීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද උපදෙස් ලබා දී තිබෙනවා.