පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාසිටි දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා ඉන් පිටව ගොස් තිබේ.

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක නිරතවී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබුණු අතර ඉන්පසු දුමින්ද නාගමුව ඇතුළු පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබුණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා පොලීසිය විසින් ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර පල්ලෙකැලේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති හබයාස්කෝපුස් පෙත්සමක් සලකාබැලීමට ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියමකර තිබේ.

එම නියෝගය නිකුත් කර ඇත්තේ මෙම පෙත්සම අද (16) සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 7 වනදා කොම්පඤ්ඤ වීදිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල උද්ඝෝෂණයක නිරතවෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවටගත් තම සේවාදායකයා පසුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර එම අධිකරණය මගින් ඇප මත මුදාහැරීමට නියෝගකර තිබූ බව සඳහන් කළේය.

ඉන් අනතුරුව පොලිසිය විසින් ඔහු බලහත්කාරී ලෙස පල්ලෙකැලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් රඳවාගෙන සිටි බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සාමාන්‍යයෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයෙකුට රජයේ මධ්‍යස්ථානයක හෝ පෞද්ගලික හෝටලයක නිරෝධායනයවීමේ  අවස්ථාව තෝරාගැනීමට ඉඩකඩ තිබුණත් තම සේවාදායකයාට එම අවස්ථාව පොලිසිය විසින් අහිමිකළ බවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා රෝගයට අදාළව නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශය මගින් උද්ඝෝෂණ තහනම් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

දුමින්ද නාගමුවගේ බිරිඳ වන එන්. දුලානි ප්‍රියංගිකා විසින් පෙත්සම ඉදිරිපත්කර තිබේ.