නැගුම වැනි ව්‍යාපෘති පිළිබඳව රටේ ජනතාවට අත්දැකීමක් තිබෙන බවත්, එබැවින් බැසිල් රාජපක්ෂ යනු වැඩ කළ හැකි නායකයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා.

නිමල් ලංසා මේ බව සඳහන් කළේ මීගමුව කොටුව පිට්ටනිය අසල වෙරළ සංරක්ෂණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇමති ධූරයක් ලබාගත් පසු රටේ ආර්ථියක යළි ගොඩගැනීමට හැකිවනු ඇති බවත් ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

බැසිල් රාජපක්ෂ පැමිණි පසු රටේ ආර්ථිකය යහපත් තත්වයට පත්වීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දයාසිරි ජයසේකර මහතාට එතුමගේ අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. ලැබිලා තියෙන අමාත්‍යාංශය විහිළු සපයන අමාත්‍යාංශයක් කියල එතුමා කිව්වේ. එතුමාට ලැබිල තියෙන අමාත්‍යාංශය හොඳ නැත්නම්, කැමති නැත්නම් එම අමාත්‍යාංශය ග්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකුට ලබාදෙන්න ජනාධිපතිතුමාට යෝජනා කරන්න පුළුවන්. අකමැත්තෙන් අමාත්‍යාංශයක ඉන්න එක විශාල ප්‍රශ්නයක්.

අකමැත්තෙන් ඉන්න විට ඒ අමාත්‍යාංශය සමඟ බද්ධ වෙලා ඉන්න ජනතාව විශේෂයෙන් පේෂකර්ම, දේශීය රෙදිපිළි කර්මාන්තයේ නිරත ජනතාව දියුණු කිරීමක් එතුමා කරන්නේ නැහැ. දයාසිරි ජයසේකර ඇමැතිතුමාට ලැබිල තියෙන අමාත්‍යාංශ ජෝකර් අමාත්‍යාංශයක් ලෙස දකිනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා ඇමැතිකම් අරගෙන රටේ ජනතාවට වැඩකරන්න පුළුවන්. ඒ නිසා කරුණාකරල ඔවුන්ට එම අවස්ථාව ලබාදෙන්න. එකතු වෙලා ඉන්න සන්ධානය තුළ කථා නොකර, එළියට ගිහිල්ලා කථා කිරීම විශාල ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් පවුලක් වුණත් ප්‍රශ්න විසද ගන්නේ ඇතුළේ. එළියෙ නෙමෙයි. එතුමා කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තු වුණා. එය නොලැබුණු නිසා මෙවැනි ප්‍රකාශය කිරීම මම පැහැදිළිවම දකිනවා. මම නම් විහිළුකාරයෙක් වෙන්නේ නැතුව, මට දීල තියෙන අමාත්‍යාංශය කැමති නැත්නම් අමාත්‍යාංශය දීල යන්න මට කොන්ද තියෙනවා. එතුමත් විහිළුකාරයෙක් නොවී කොන්ද කෙලින් තියාගෙන අමාත්‍යාංශය වෙන කෙනෙකුට දීම තමයි‍ සුදුසු.”