ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජනතා සහභාගීත්වයෙන් යුතු දළඳා පෙරහරක් නොපැවැත්වීම වත්මන් අර්බුදවලට හේතුව බවත්, ඒ නිසා ජනතා සහභාගීත්වයෙන් යුතු පූර්ණ දළඳා පෙරහරක් පවත්වන ලෙස අනුරාධපුරයේ ශාස්ත්‍ර කියන්නියක දුන් උපදෙස් අනුව මෙවර දළඳා පෙරහර පැවැත්වීමට තීරණය කර ඇති බවත් “අනිද්දා” පුවත්පත වාර්තා කර ඇත. එම පුවත පහතින් දැක්වේ.

“එළබෙන අගෝස්තු මාසයට නියමිත මහනුවර දලඳා පෙරහර සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විතව හා එය නැරඹීම සදහා මහජනතාවට අවස්ථාව ලබාදෙමින් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව දළඳා පෙරහර සදහා සහභාගී වන කලාකරුවන් ඇතුළු අනෙකුත් පිරිස එන්නත්කරණය දළඳා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ල තුල මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදි දළඳා මාලිඟාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසූයේ අගෝස්තු 13 වන දින සිට 23 දින දක්වා දළඳා පෙරහැර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. පෙරහර පවත්වන්නේ ජෛව බුබුළක් තුළද යන්න පිළිබඳව විමසීමේදී දෑල මහතා පැවසූයේ දැනට එවැනි තීරණයක් නැහි බවත්, දළඳා පෙරහර සාමාන්‍ය ලෙස පවත්වන බවත් ය . එමෙන්ම ඔහු පැවසූයේ ලොකු අවධානමක් නොමැතිව පෙරහර පැවැත්විය හැකි බවත් පෙරහරට සහභාගී වන සියලු දෙනාට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම පෙරහර දිනයට දින 14කට පෙර ලබාදීමට කටයුතු කරන බවත් ය. ඒ යටතේ මේ වනවිටත් 3000ක පමණ පිරිසකට පළමු එන්නත්කරණය කර ඇතැයි ඔහු පැවසීය.

පෙරහර නැරඹීම සඳහා මහජනයාටත් අවස්ථාව ලබාදෙනවාදැයි කල විමසීමේදී ඔහු පැවසූයේ පෙරහර නැරඹීමට මිනිසුන් ආවොත් එය ප්‍රශ්ණයක් නොවන බවත් මහනුවර ජනතාව මේවනවිට කොවිඩ් එන්නත්කරණයට ලක්කර ඇති බවත් ය. (රටතුළ දෙවන වටයේ එන්නත්කරණයේදී මහනුවර දිස්ත්‍රික්කයට ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබාදෙන ලදි.

ජූනි 25 දින ජාතිය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා ජූනි 26 දින මහනුවර ගොස් මහනායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සහ දළඳා මාලිගාවේ දියවඩන නිළමේ හමුවී සාකච්ජා කර ඇති අතර එහිදී විශේෂයෙන්ම දළඳා පෙරහර පැවැත්වීම පිළිබඳව සාකච්ජා කර ඇත. ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජනතා සහභාගීත්වයෙන් යුතු දළඳා පෙරහරක් නොපැවැත්වීම වත්මන් අර්බුදවලට හේතුව බවත්, ඒ නිසා ජනතා සහභාගීත්වයෙන් යුතු පූර්ණ දළඳා පෙරහරක් පවත්වන ලෙස අනුරාධපුරයේ ශාස්ත්‍ර කියන්නියක දුන් උපදෙස් අනුව මේ ආකාරයට දළඳා පෙරහර පැවැත්වීමට තීරණය කර ඇති බවත් දළඳා මාලිඟාවට සම්බන්ධ අපගේ මූලාශ්‍රයක් පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දළඳා පෙරහර වීදි සංචාරය කර තිබුණේ අංගෝපාංග අඩුකර සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොලිස් ආරක්ෂාම මධ්‍යයේය. එය නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදී නොතිබුන අතර රූපවාහිනිය මඟින් පමණක් විකාශය කරනු ලැබීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තිබුණු රට මේ වනවිට විවෘත කර ඇතත්, විශාල පිරිසක් සහභාගී වන ආගමික උත්සව ඇතුලු කිසිදු උත්සවයකට ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් අනුව අවසර නැති අතර ජූලි 2 පැවැත්වීමට නියමිත කතෝලික ජනයාගේ විශේෂ උත්සවයක් වන මඩු මංගල්ලය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබුණේ 30 දෙනෙකුඅ පමණය. ඒ එය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ආරක්ෂය අංශ වල සහභාගීත්වයෙන් පැවති සාකච්ජාවකදීය.”

උපුටා ගැනීම – ලසන්ත රුහුණගේ (අනිද්දා)