රේගු නිලධාරීන් පිරිසක් විදේශ ගතව සිටියදීත් වැටුප් ලබාගෙන තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවේ සඳහන් කර තිබේ.

තවද රේගු ප්‍රධාන කාර්යාලයේ භාවිත කෙරෙන ඇඟිලි සළකුණු යන්ත්‍රය සවි කර තිබුණද එය අක්‍රීය තත්ත්වයේ පවතින බව ද කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සඳහන් කරයි.

කෙසේ වෙතත් එය පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව අනාවරණය කරගෙන ඇත.

මේ අතර රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රමාද වූ බවකි.

තවද ඔවුන් සඳහන් කර ඇත්තේ රාජකාරියේ ස්වභාවය අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමේ අපහසුතාවක් පවතින බවත් ය.

මේ අනුව ප්‍රායෝගිකව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම අපහසු අංශ සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ හැකි අංශ ඇතුළත් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව දැනුම් දී ඇත.

තවද ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ක්‍රමානුකූලව සිදු වෙනවාද යන්න අධීක්ෂණය රේගුවේ ඉහළ නිලධාරීන් සතුව පවතින වගකීමක් බවද කමිටු සාමාජිකයෝ පෙන්වා දී ඇත.

එම වාර්තාව කෝපා කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.