ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

එසේම මේ වසරේ තනි දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය රු. බිලියන 213.48 ක් ඊයේ දිනයේ මුද්‍රණය කර ඇතැයිද ඔහු පවසයි.

කෙටි කාලීන බැඳුම්කර සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් පැවතිය ද, 2028 මැයි 01 දිනට කල් පිරීම සඳහා ඉදිරිපත් කර තිබූ භාණ්ඩාගාර බැඳුම්කර රු.බිලියන 35 කින් අලෙවි වී ඇත්තේ රු. බි. 11.4 ක් බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් කල් පිරුණු ඩොලර් මිලියන 106 ක වටිනාකමින් 44% ක් (එනම් ඩොලර් මිලියන 60) නැවත අලෙවි කිරීමට මහ බැංකුවට ඊයේ හැකි වූ බවත් දැඩි අර්බුදකාරී වාතාවරණයක් තුළ එය යම් අස්වැසිල්ලක් බවද ඔහු පවසයි.

අගෝස්තු මස 1 දිනට පියවිය යුතු රු. බිලියන 150 ඉක්මවන බැඳුම්කර හා කූපන් ප්‍රමාණයක් මහ බැංකුව සතු බවදඔහු පවසවි

“නිදහසින් පසු දළ දේශීය නිෂ්පාදනයට වඩා රටේ ණය ප්‍රමාණය ඉහළ ගිය අවස්ථා තුනකි.  1987 – 89 උතුර – දකුණ යුධ තත්වය,  පරිවාස ආණ්ඩුවක් ඇති කිරිමට හේතු  වූ 2001 ආර්ථිකය සෘණ අගයකට පත් වූ අවස්ථාව සහ 2020 එම අවස්ථා වෙති.  1970 න් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම මුල්‍ය අර්බුදයට දැන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.  විදේශ විනිමය හිඟය, රජයේ ආදායම් අඩුවීම හා පොහොර, ඖෂධ, ගැස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ඒ අතර මුලික වේ.” යැයි ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.