ගුරු වැඩ වර්ජනයේ නිරත පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම පිළිබඳව ඇතැම් පාර්ශව තමන්ට සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (සැප්. 22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ගුරු වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමයට උගන්වන ගුරුවරුන්ට ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයින් තර්ජනය කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමැණිලි කළේ, වර්ජනයට එරෙහි ගුරුවරුන් බවත් ඊට කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් සරත් වීරසේකර මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන් ම, වර්ජනය කිරීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වුව ද බහුතරයක් ගුරුවරුන් වර්ජනයට එක්ව ඇත්තේ, ඔවුන්ගේ කැමැත්තට නොව බලකිරීමකට යැයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා අවධාරණය කළේ, රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් වර්ජනය නොතකා ඉගැන්වීමෙහි නිරත ගුරුවරුන්ට වචනයකින් හෝ බලපෑමක් කළහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් , ජෝසෆ් ස්ටාලින්ගෙන් mawbima.lk වෙබ් අඩවිය විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, අමාත්‍යවරා සඳහන් කරන පිරිදි කිසිදු තර්ජනයක් කර නොමැති බවය.

එමෙන් ම, මෙම ගුරු වර්ජනය සහ ගුරුවරුන් මාර්ගගත ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී මේ වන විට මාස දෙකක කාලයක් ගත වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

“මෙම වර්ජන ක්‍රියාවලිය ප්‍රශ්නයට මැදිහත් වෙලා ඇමතිවරයෙක් ඒකට විසඳුම් ලබා දීම පැත්තකින් තියලා මාස දෙකකට පස්සේ මේ නිදාගෙන නැගිටලා මේක තර්ජනය කරනවා කියල කියන එක හරි ද? තර්ජනයක් මෙතන නැහැ,” යනුවෙන් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසෆ් ස්ටාලින් .

“සරත් වීරසේකර ඇමතිතුමා ගිහිල්ලා මුණ ගැහෙනවා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති කණ්ඩායමක්. මේක තර්ජනය කරනවා කියලා කියන්න. එතකොට ඒක කරන්න ඕන, පැමිණිලි දාන්න ඕන පොලිසියටනේ. ඊට පහු වෙනි දා සරත් වීරසේකර ඇමතිතුමා නිවේදනයක් නිකුත් කරනවා සහ ප්‍රකාශයක් කරනවා, ගුරු වැඩ වර්ජනය ත්‍රස්තවාදයක් කියලා. 

අපි විධිමත්ව දැනුම් දීලා කරපු වැඩ වර්ජනයක්. ඒක ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන නැහැ. වෘත්තීය සිමිති ආඥා පනතට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපේ අයිතිවාසිකම් පාවිච්චි කරලා, නියමිත පිරිදි දැනුම් දීලා කරන වැඩ වර්ජනයක් මේක. 

අපි දැන් කරන්නේ Online ක්‍රියාවිලයෙන් ඉවත් වීම. අපි උගන්නන්නේ සම්පූර්ණයෙන් ම අපේ අතින් අපේ Device වලින් කරන්නේ ආණ්ඩුව ඒකට කිසි සම්බන්ධයක් නැහැ ඒකට. මෙයා ඒකට බනිනවා. තර්ජනය කරනවා කියලා. ඊට පස්සේ පොලිසියෙන් නිවේදනයක් නිකුත් කරනවා. පසුව CIDය ගුරුවරියෙක්ට සහ විදුහල්පතිවරයෙක්ට කැඳවීමක් කරනවා. ඒ ගොල්ලෝ ගියහම ඒගොල්ලොන්ගේ එහෙම එකක් නැහැ. ඒගොල්ලොන්ව එවනවා. මේක දැන් නාටකයක්නේ ඇත්තට ම බැලුවහම.

සාමාන්‍ය සුළු පැමිණිලි අංශය, පොලිසිය කරන එකක් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ කැඳවීම් කරලා, නිලධාරීන් දාලා මේවා කරන්න තරම් දෙයක් තිබිලා නැහැ.”