පොලීසිය පිළිබඳව ඇති විශ්වාසය කඩා වැටීම භයානක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

හිංසනයට එරෙහි කාන්තා එකමුතුව විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ පොලීසිය තුළට යන ළමයින්ට හා කාන්තාවන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ තුළ පවා මිනිස්සුන්ව මර්දනය කරන තත්වයකට පත්වීම අතිශයින්ම භයානක බවයි.

“පසුගිය කාලය තුළ විවිධ පැමිණිලි රාශියක් පොලීසියට විරුද්ධව ලැබී තිබෙනවා. කාන්තාවන් අරගල කරන අවස්ථාවලදී පොලීසියේ හැසිරීම ගැන විශේෂයෙන් අවධානය යොමුවුණා. මේ මාසයේ 08වැනිදා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සහ කොතලාවල පනත විරුද්ධව පැවති විරෝධතාවයේදී පොලීසිය ඉතාමත්ම කැත විදිහට ස්ත්‍රීන්ට සලකපු විදිහ අපි දැක්කා.

ඇඳුම් ඉරමින්. ඇදගෙන යමින් පහර දෙමින් ක්‍රියාකළ ආකාරය රටම දැක්කා. නමුත් ඒක විතරක්ම නෙවෙයි, පොලීසිය ඇතුළෙදි වුණත් ස්ත්‍රීන්ට සලකපු විදිහ මාධ්‍ය තුළින් වාර්තා වුණා. පැමිණිල්ලක් කරන්න ගිය කාන්තාවන්ට පාදුක්ක පොලීසියේදී මුහුණපාන්න වුණු සිද්ධිය ඇතුළු රාශියක් මේ කාලය තුළ මතුවුණා. මේ තත්වය ඉතාමත්ම බැරෑරුම් ලෙස ගත යුතු තත්වයක්. පවතින තත්වය ගැන මෙයට මාසයකට පෙරත් මම මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැන්වූවා. පොලීසියට මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස එයින් ඉල්ලීමක් කළා.

පොලීසිය ඉන්නේ අපිව ආරක්‍ෂා කරන්න. අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන තැන පොලීසිය. ළමා හා කාන්තා ඒකකය කියලා පොලීසිය තුළ වෙනම අංශයකුත් තියෙනවා. එතැනට ස්ත්‍රීන් හෝ ළමයින් යන්නේ ආරක්‍ෂාවක් බලාපොරොත්තුවෙන්. ඒ තුළ ඉන්න අය මේ ආකාරයට හැසිරෙනකොට පොලීසිය සහ ඒ ආයතන පද්ධතිය පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. පොලීසිය තුළට යන ළමයින්ට හා කාන්තාවන්ට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ තුළ පවා මිනිස්සුන්ව මර්දනය කරන තත්වයකට පත්වීම අතිශයින්ම භයානකයි.

පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කරන්න නෙවෙයි, මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට. පොලීසිය ගැන ඒ විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක්. පොලීසියේ තියෙන මේ සංස්කෘතිය අතිශයින්ම බරපතළ ප්‍රශ්නයක්. ස්ත්‍රී විරෝධී සහ ස්ත්‍රී හිංසනවාදී අදහස් පොලීසිය තුළදී මතුවීම මේ කාලය තුළ අපි හැමෝටම පෙනුණා.

මේවා හමුදා පුහුණුව දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. පොලීසිය කොහොමද ප්‍රජාව එක්ක ගනුදෙනු කරන්නේ කියන එක පැහැදිලි කර දීමේ ලොකු වගකීමක් සරත් වීරසේකර ඇමතිතුමාට තියෙනවා. ඔහුගේ අවධානය ඒ ගැන යොමු කරන්න කියලා අපි ඕනෑකමින් ඉල්ලා සිටිනවා. “