වසාදැමීමට තීරණය කර තිබූ BreadTalk අවන්හල් ජාලය රු. මිලියන 245 ක මුදලකට අලෙවි කර තිබේ. FoodBuzz (පුද්) සමාගම යටතේ BreadTalk අවන්හල් ජාලය ක්‍රියාත්මක වූ අතර FoodBuzz (පුද්) සමාගම යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන RIL Property PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමකි.

FoodBuzz (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සිය BreadTalk අවන්හල් ජාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පසුගිය මාර්තු 16 දින නිවේදනය කර සිටියේය. කෙසේවෙතත් ඊට පසු මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් RIL ප්‍රොපර්ටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටියේ ඒම පියවර ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බවයි. 

FoodBuzz (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට උනන්දුවක් දක්වන ආයෝජකයෙකු සමඟ RIL ප්‍රොපර්ටීස් ඒ වන විට සාකච්ඡා පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

ඒ අනුව SS Equity Holdings (Pvt) Ltd නම් සමාගමක් වෙත FoodBuzz (පුද්) සමාගමේ කොටස් 108,180,020 ක් වූ සිය සම්පූර්ණ හිමිකාරීත්වය අලෙවි කළ බව RIL ප්‍රොපර්ටීස් දැනුම් දී සිටී.