ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් ඉකුත් සෙනසුරාදා (12) අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එබැවින් කන්යාකුමාරි, දත්කුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා . බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත. කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න මෙතක් තහවුරු කර ගෙන නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.