මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් පනවන ලද අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් එම තීන්දුව ලබා දුන්නේය.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල නැමැත්තෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දී තිබේ.

2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට නන්දා මාලනිය විසින් ගායනා කරන ලද “යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්” යන ගීත සහ මහගම සේකරයන් විසින් රචිත “ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ” යන ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට පාදුක්ක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.