රටේ සියලු ම මහේස්ත්‍රාත් අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් කැඳවා පවත්වා ඇති සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම රටට කරුණු පැහැදිලි කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, රට මේ වන විට මුහුණ දෙමින් සිටින බිහිසුණු අර්බුදකාරී තත්ත්වය හමුවේ වගකීම්සහගතව ක්‍රියාකළ යුතුව ඇති ප්‍රමුඛතම අංශ පවා තමන් සතු නිශ්චිත කාර්යභාරය හඳුනා නොගනිමින් හා එම ආයතනයන්හි වගකීම් හා කාර්යභාරය අනිසි ලෙස යොදා ගනිමින් කටයුතු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව ජන ජීවිතයේ යහපැවැත්මට ද බරපතළ අගතීන් නිර්මාණය කළ හැකි බවය. 

අදාළ නිවේදනයේ සෙසු උපුටා ගැනීම් පහත දැක්වේ.

“මේ රටේ ප්‍රමුඛතම අංශ පවා ඒ පිළිබඳව වගකීමකින් සහ අවධානයකින් යුක්තව කටයුතු කරන ආකාරයක් දක්නට නොලැබීම රට මුහුණ දෙමින් සිටින මෙම දැවැන්ත අර්බුදය තව තවත් සංකීර්ණ කළ හැකිය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ බව අවධාරණය කරන්නේ රටේ පැවැත්මට තීරණාත්මක වගකීම් උසුලන විධාකයේ හා ව්‍යවස්ථාදායකයේ කටයුතු සිදුකරමින් සිටින ආකාරය පිළිබඳව පමණක් නොව යුක්තිය පසිඳලීමේ බරපතළ වගකීම් පැවරී ඇති අධිකරණ ක්ෂේත්‍රයට අයත් ඇතැම් ආයතනයන්හි කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ද බරපතළ ලෙස සැලකිල්ලට ගනිමිනි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව රටේ සියලු ම මහේස්ත්‍රාත් අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් විශේෂ සම්මන්ත්‍රණයක් සඳහා කොළඹට කැඳවමින් නිකුත් කර ඇති ලිපියෙහි ඇතුළත් බොහෝ අවධාරණයන් මෙන් ම මහේස්ත්‍රාත් අධිකරණයන්හි ඇතැම් කටයුතුවලට අදාළව එම සම්මන්ත්‍රණයේදී ලබා දී ඇතියි කියන නිරීක්ෂණයන් හා මගපෙන්වීම් පිළිබඳව පළවී ඇති තොරතුරුවලට අනුව එම කටයුතු සිදුවී ඇත්තේ ඒ ආකාරයට නම් එය සැලකිය හැක්කේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ස්වාධීන අධිකරණයක පැවැත්මට මෙන් ම ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම්වලට සීමා පැනවීම සඳහා ගෙන ඇති චේතනාන්විත උත්සහයක් ලෙසට ය. 

ශිෂ්ට සම්පන්න ලෝකයෙහි ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස මෙන් ම අත්නොහැරිය යුතු අයිතිවාසිකම් පිළිබඳව ගරුත්වයක් ඇති කිසිවෙකු හෝ එවැනි තත්ත්වයක‌ට එකඟත්වය පළ නොකරනු ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසය යි. ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස අගයන සාධාරණ සමාජයක් උදෙසා පෙනී සිටින අප සංවිධානය එවැන්නක් ගැන අසන්නට ලැබීමෙන් බලවත් තැති ගැනීමකට ලක්ව සිටින බව දැනුම් දෙන අතර ම, එවැනි තත්ත්වයකට කිසිසේත් ම එකඟත්වයක් පළ නොකරන බව අවධාරණය කරන්නෙමු. එමෙන් ම එවැනි තත්ත්වයක් හරහා රටට ඇති විය හැකි භයානක ප්‍රතිඵල පිළිබලඳව ජනතාව දැනුවත් කරමින් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත සමාජය හා එක්ව පෙළගැසෙන්නෙමු.

රටේ පාලනය උදෙසා ඉහළ ම වගකීම් පැවැරී ඇති පළමු පුරවැසියාගේ සිට වගකිව යුතු සෑම පුද්ගලයන් මෙන් ම ආයතනයන් ද රට වෙනුවෙන් වූ එම කාර්යභාරය ඉටුකළ යුතුව ඇත්තේ රටේ මූලික නීතියට අනුගතවය. එය නොසලකමින් හෝ බැහැර කරමින් කවර ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන්නට උත්සහ කරන්නේ නම් හෝ එවැනි දෙයකට අනුබල සපයන්නේ නම් හෝ එය සැලකිය යුත්තේ රටේ ව්‍යවස්ථාවට පිටුපෑමක් ලෙසටය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත පිහිටා ගොඩනගා ඇති සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයට එරෙහිවීමක් ලෙසට ය. රටේ කවර හෝ ආයතනයක් එවැනි ප්‍රවේශයකට යොමුවන්නට උත්සහ කරන්නේ නම් ඒ මගින් සිදුවනු ඇත්තේ රටක් ලෙස අප මුහුණදෙමින් සිටින දැවැන්ත අර්බුදය තව තවත් උත්සන්න කිරීමකි.

එබැවින් අප මේ මොහොතේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ එම  ආයතනය මගින් රටේ සියලු ම මහේස්ත්‍රාත්වරුන් කොළඹට කැඳවමින් පවත්වා ඇති සම්මන්ත්‍රණයේදී සිදුව ඇතැයි කියන තත්ත්වයන් පිළිබඳව රටට විධිමත් කරුණු දැක්වීමක් සිදුකරන ලෙසටය. 

එමෙන් ම අප මේ මොහොතේ රටේ විධායකයෙන් හා ව්‍යවස්ථාදායකයෙන් මෙන් ම අධිකරණයෙන් ද ඉතාමත් ම ගෞරව බහුමානයෙන් යුක්තව ඉල්ලා සිටින්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව අද වන විට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයට විසඳුම් සොයා යාමේදී රටේ මූලික නීතියට ඉහළ ගරුත්වයක් ලබා දෙමින් ඒ මගින් සුරක්ෂිත කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායට හා ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසට ය.”