වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට නියෝග කලද එම වැටුප වතු සමාගම් විසින් ලබා නොදෙන ලෙස පවසමින් වතුකම්කරුවන් පිරිසක් (25) මස්කෙලිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පා.ම පලනි දිගම්බරම් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

වතු කම්කරුවන්ට දිනක වැටුප රු දහස දක්වා වැඩි කිරිමට රජය විසින් පියවර ගත්තද මස්කෙලිය සහ හොරණ වැවිලි සමාගම් විසින් එම වැටුප ගෙවීමට දැනට දිනක වැටුපට නෙලන අමු තේ දළු කිලෝ 18 වෙනුවට කිලෝ 20 ක් නෙලන ලෙසට බල කරන බව පලනි දිගම්බරම් මහතා කියා සිටියා.

රුපියල් හසක දෛනික වැටුප වැඩි කිරිමත් සමග මෙතෙක් වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට ලබාදුන් සුබසාධන කටයුතු කපා හැර ඇති බවත්, අමු තේ දළු කිලෝ 20 නෙලීමට අසමත් වන වතු කම්කරුවන්ට දිනකට නෙලන අමු තේ දළු කිලෝ ප්‍රමාණයට පමණක් එම වතු සමාගම් විසින් වැටුප ගෙවීම නිසා වතු කම්කරුවන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.