කොළඹ ජාතික රෝහල ඇතුළු මධ්‍යම රජය යටතේ පාලනය වන ප‍්‍රධාන පෙළේ රෝහල් හතළිස් හතරක් විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි හයක මුදලක් මේ තාක් පියවා නැති බව ලංකා ධීවර සංස්ථාව සඳහන් කරයි. කොළඹ ජාතික රෝහල ඇතුළු මෙම රෝහල් වෙත ධීවර සංස්ථාව විසින් මත්ස්‍ය නිෂ්පාදන ටොන් එකසිය තිහක් පමණ අලෙවි කර තිබෙන බවත් එය කිලෝග‍්‍රෑම් එක් ලක්ෂ විසි දහසක් බවත් එම සංස්ථාවේ ප‍්‍රකාශකයෙකු අරුණ කළ විමසුමකදී සඳහන් කළේය.

ලංකා ධීවර සංස්ථාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් ඇතුළු ආයතන වෙත මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය සිදුකරනු ලබන අතර ඉතා සහනදායී මිල ගණන් වලට මෙම ආයතන වෙත මත්ස්‍ය නිෂ්පාදන බෙදාහරිනු ලබයි.

මේ සම්බන්ධයෙන් ලංකා ධීවර සංස්ථාවේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ලලිත් දවුලගලගෙන් අරුණ, කළ විමසුමකදී සඳහන් කළේ එලෙස හිඟ මුදල් පියවීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් සිදුවිය යුතුව ඇති බවය. ඒවා අය කරගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවද හෙතෙම කීවේය.