2019 වසරේ දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ඩොලර් බිලියන 2.2 ක් ලබා ගත්තේ එවකට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දුර දිග බලා ගත්ත තීරණයක් අනුව බවත්, 2019 හා 2020 වසරවල දී මැතිවරණ පැවැත්වීමට යෙදුණු හෙයින් ජාතන්තර වෙළෙඳපොළෙ වෙත යාමට තිබිය හැකි අපහසුතා හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බවට කුමාරස්වාමි මහතා තමන්ට කියූ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඊයේ (13) විකාශය වූ දෙරණ 360 සජීවී දේශපාලන සංවාදාත්මක වැඩසටහන හා ඒක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි. මීට පෙර අවස්ථාව දී දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, 2018 – 2019 වසර 2ට පමණක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළෙඳපොළෙන් ඩොලර් බිලියන 6.9 ක් ණයගෙන ඇති බවත්, කුමන හේතුවක් මත එසේ කළා දැයි නොදන්නා බවත්ය. එසේම මෙරට කිසිදු ආණ්ඩුවක් මෙලෙස ණය ගෙන නොමැති බව ද වෙළෙඳ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
“මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මුළු අවුරුදු 10 ක කාලය තුළ ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරලා ලබා ගෙන තියෙන ණය ප්‍රමාණය 2007 සිට 2014 ට ඇමරිකානු ඩොලර් බිලියන 5.5 යි. 2018 – 2019 අවුරුදු 2ට විතරක් ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරලා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහිල්ලා ලබා ගත්තා 6.9 ක්. යහපාලන රජය විතරක් අරං තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 13 ක්. හම්බන්තොට වරාය විකුණලා ගත්තේ 1.4 යි. ඊළඟට ලංකාවට ලැබුණු ලොකුම ව්‍යාපෘතිය තමයි පෝර්ට් සිටි. ඒකට ලැබුණේ 1.4 යි. ඒ දෙකටම ලැබුණේ 2.8 යි. නමුත් පසුගිය රජය මොන හේතුව නිසාද දන්නේ නැහැ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත්තු ණය ප්‍රමාණය, එහෙම ලංකාවේ කවදාකවත්, කිසිම ආණ්ඩුවක් මේ විදියට කරලා නැහැ.”
වෙළෙඳ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සමඟ තමන් එකඟ නොවන බව පැවසූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය.
“මම ඒ විග්රහයත් එක්ක එකඟ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි 2014 – 2019 කාලේ ඔය කතාවම අපි කිව්වා. මොකද මේ පරණ පව් තමයි අපි ගෙවන්නේ. මොකද හැමදාම පරණ ණය අලුතෙන් එන කණ්ඩායමට ගෙවන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට 2015 ජනවාරි මාසයේ ආණ්ඩුව එනකොට සංචිත තිබුණා ඩොලර් බිලියන 8.2 ක්. මේ සංචිත ඩොලර් බිලියන 8.2 න් ඩොලර් බිලියන 3.5 ක් තිබුණේ, අපි කියනවා Hot Money, එහෙමත් නැත්නම් අර ටෙම්පල්ටන්ට් කියන ආයතනය විසින් ගෙනල්ලා ඔ්න වෙලාවක ගෙනියන්න පුළුවන් ජාතියේ දීපු ණය. ඒවා ආයෝජනය කරලා තිබ්බේ භාණ්ඩාගාර බිල්පත්වල, ඒවා ඔ්න වෙලාවක විකුණලා ගෙනියන්න පුළුවන්. ඊළඟට මොනවාද මේ ගොල්ලෝ කළේ උප්පරවැට්ටිය, මේවා මිනිස්සු දන්නේ නැහැ, අනිත් බැංකුවල ලංකා බැංකුව, ඩීඒෆ්සීසී බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, මේ බැංකු හරහා ඩොලර් බිලියන ගණන් ණය ගත්තා. ඒ්වා එව්වයා පාර්ක් කරලා තිබ්බා. ඊට පස්සේ පෙට්‍රොලියම් එක, ඉලෙක්ට්‍රිසිටි එක ණය ගත්තා, ණය අරගෙන ඒවා ඒ ඒ තැන්වල පාර්ක් කරලා, ඊට පස්සේ පෙන්නුවා බොරු නොම්මර. දත්ත හොරකම් කරන එක ගැන මම අමුතුවෙන් කියන්න ඔ්නේ නැහැනේ. දත්ත විකෘති කරන එක ගැන අපේ මිනිස්සු දැන් හොඳටම දන්නවා. ඒතකොට බොරු දත්ත පෙන්නලා කිව්වා, මෙන්න මෙච්චරයි අපි ණය ගත්තේ කියලා. මම දැඩිවම කියනවා, ඔය වගේ මිනිස්සුන්ව නොමඟ අරින්න එපා.”
“ඊට පස්සේ ඔය බිලියන 8.2 න් බිලියන 2.2 ක් තිබ්බේ SWAPs. මාස 03 ණය. මාස 03 ණය අරගෙන මෙතන දාලා, මෙතුමා කියන්නේ ස්වෛරී බැඳුම්කර ගත්තේ නැහැ කියලානේ. ස්වෛරී බැඳුම්කරවලට වඩා හපන් ඒවා ගත්තේ. ඊට පස්සේ අපිට ගෙවන්න සිද්ධ වුණා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අධිපතිතුමා ඒ ඔක්කොම මාරු කළා, වෙනස් කළා, ඒකේ composition එක වෙනස් කළා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන කොට මහ බැංකුවේ සංචිත තිබුණා ඩොලර් මිලියන 7.9 ක්. ඒ 7.9 න් SWAP තිබුණේ ඩොලර් මිලියන 600 යි. ඊට පස්සේ Hot Money තිබුණේ ඩොලර් මිලියන 350 යි. 7.9 න් ඩොලර් මිලියන 900 ක්, බිලියන 0.9 යි තිබ්බේ අතමාරුවට ගත්ත ඒවා. අනිත් ඔක්කොම තිබුණේ දීර්ඝ කාලීන ණය. එතකොට තමයි මේක Solid වෙන්නේ.”
“2019 මම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අධිපතිතුමාගෙන් ඇහුවා, ඇයි ඔයා ඩොලර් බිලියන 4.4 ක් මේ අවුරුද්දේ ණය ගන්න ලැහැස්ති වෙන්නේ. ඔ්කනේ මේ කරන ලොකුම විවේචනය. 2019 මහ ලොකු ගාණක් ගත්තා. ඒකට හේතුවක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමා විදියට ගත්ත ණය 2019 දී ගෙවන්න තිබුණා ඩොලර් බිලියන 1.5 ක්. ඒකට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඒ පියවීම සඳහා නැවතත් ලබා ගන්න සිද්ධ වුණා. ඒ ගත්ත ණයවලින් කරපු දෙයක් නැහැනේ, කුළුණු ගැහුවා ඒවා කළා, සත 5 ක්වත් ආවේ නැහැනේ. ඊළඟට එතුමා මට කිව්වා, 2019 – 2020 කියන්නේ ඡන්දේ, වෙන ආණ්ඩුවක් එන්න පුළුවන්. නැත්තං මේක අර්බුදයක් තියෙන්න පුළුවන්. ආණ්ඩු මාරු වෙන කොට ජාත්‍යන්තර වෙළෙඳපොළට යන්න අමාරුයි. ඒ නිසා මම තව ඩොලර් බිලියන 2.2 ක් අරං තියනවා හදිස්සියට ගන්න කියලා කිව්වා. මම මේ කියන්නේ සම්පූර්ණ 100% ක් ඇත්ත. අරන් තිබ්බා. ඒක එතුමා ගත්තේ නැත්නම් අද බන්දුල ඇමතිතුමාට කතාකරන්න වෙන්නේ ඔහොම නෙමෙයි. මේසේ යට ඉඳලා. ඒ ඩොලර් බිලියන 2.2 ගත්තේ නැත්නම් අපිට ඉන්න හිටින්න නැහැ.”