අමෙරිකාවේ රිගන් කෝව් ලෙස හා බ්‍රිතාන්‍යයේ රොනප්‍රිව් ලෙස හැඳින්වෙන ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට පමා වී හෝ තීරණය කිරීම ගැන සතුටට පත්වන බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම ඖෂධයේ වැදගත්කම විපක්ෂ නායකවරයා මුලින්ම ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කළේ, පසුගිය අගෝස්තු 28 වැනි දායි.

ලෝකය පුරා විශාල ඉල්ලුමක් හටගෙන ඇති වාතාවරණයක විපක්ෂ නායකවරයා යළි මෙම ඖෂධ ගෙන්වා ගන්නා ලෙස අගෝස්තු 30 වැනි දා ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

කොරෝනා ආරම්භයේදීම එන්නත්කරණයේ හා මුව ආවරණ පැළඳවීමේ වැදගත්කම පෙන්වා දෙන විට උපාහාසයෙන් බැහැර කළ අයුරින්ම මෙම ඉල්ලීම ද බැහැර කළ ද අද ඊට අනුමැතිය ලබාදීම අශ්වයා පළ ගිය පසු ස්ථාලය වැසීමක් වුව ද ජන ජීවිතය ගැන සැලකිල්ල යොමු කිරීම වැදගත් බව මෙම නිවේදනයේ සඳහන් වේ.

මිත්‍යාව වෙනුවට විද්‍යාව ගැන විශ්වාසය තබා මීට වඩා ප්‍රබුද්ධ හා වගකීම් සහගත ලෙස පියවර ගතහොත් මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට හැකිවනු ඇති බව සමගි ජන බලවේගය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එම නිවේදනය මෙසේය.

සාමාන්‍යයෙන් “අශ්වයා පලා ගිය පසු ඉස්තාලය වසන” පුරුද්ද ඇති ආණ්ඩුව අවසානයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ REGAN-COV ලෙසින් එක්සත් රාජධානියේ Ronapreve ලෙසින්ද හැඳින්වෙන ඖෂධය මෙරටට ගෙන්වීමට තීරණය කොට තිබේ. අදාල  ඖෂධයට එක්සත් රාජධානියේත්, ඇමරිකා එක්සත් ජනපදයේත් ඖෂධ නියාමන අනුමැතිය ලැබී ඇති අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ඖෂධය මෙරටට ගෙන්වීමේ වැදගත්කම පිළිබඳව කිහිප වතාවක්ම අවධාරණය කරනු ලැබීය.

විශේෂයෙන්ම අගෝස්තු 28 වනදා  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකතුමා අදාල ඖෂධය පිළිබඳව අනාවරණය කරමින් ඉල්ලා සිටියේ මෙරට වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත එම ඖෂධ ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසය.

එහෙත් මෙම ජීවිතාරක්ෂක ඖෂධය අනුමත කරන ලෙස වෛද්‍ය විශේෂඥයින් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මෙන්ම විෂය භාර අමාත්‍යවරයාද අවඥා සහගතව  ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අදාළ ඖෂධය පිළිබඳව ලෝකය පුරාම විශාල ඉල්ලුමක් හටගෙන තිබූ අතර,සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා  අගෝස්තු 30 වෙනිදාද මේ පිළිබඳව නැවතත් අවධානය  යොමුකරමින්  ඉල්ලා සිටියේ අදාළ ඖෂධය මෙරටට ගෙන්වීමෙහි වැදගත්කම ය.

අවසානයේ දී ඒ පිළිබඳව නිර්දේශ ලැබුණ බව විෂය භාර අමාත්‍යවරයා විසින් ඊයේ ප්‍රකාශ කළ අතර කල්ගත වී හෝ නිවැරදි  තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට සිදුවීම පිළිබඳව අපි සතුටට පත් වෙමු.

කෙසේවෙතත් ආණ්ඩුවට සිහිපත් කළ යුත්තක් තිබේ.

කොරෝනා වියසනය ආරම්භ වීමට  පෙරාතුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව  විපක්ෂය හැටියටත් විපක්ෂ නායකවරයා හැටියටත්  ආණ්ඩුවට කරුණු පැහැදිලි කරන විට ආණ්ඩුව ඒවා නෑසූ කන් ව සිටියහ.

ඉන් අනතුරුව එන්නත්කරණයේ වැදගත්කම සහ මුව ආවරණ පැළඳීමේ වැදගත්කම ආණ්ඩුවට අවධාරණය කරන විට ආණ්ඩුවේ සියල්ලන් ඊට උපහාසයෙන් සිනාසුනහ.

කොරෝනා උවදුර රටට කඩා වැදී මහා ව්‍යසනයක් කරමින් තිබියදීත් ආණ්ඩුව මිත්‍යාව පිටුපස ගමන් කරමින්  විද්‍යාව අමතක කිරීමේ ප්‍රතිඵලය වුණේ 9000කට අධික ජීවිතවලින් වන්දි ගෙවීමටය .

එබැවින් නැවතත් අපි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ,විෂය භාර අමාත්‍යවරු,අගමැති ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට අවධාරණය  කරන්නේ ජනතාවගේ ජීවිත පිළිබඳව  සහ මේ ව්‍යසනයෙන් ගොඩ ඒම පිළිබඳව  මීට වඩා  ප්‍රබුද්ධ ලෙසත්,වගකීම්සහගත ලෙසත් ,බරපතල ලෙසත් සැලකිල්ලට ගන්නා ලෙසය.