වත්මන් රජය බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටවලට ඇතුළු වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මෙරට තානාපති හා මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයැදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු ඇමති එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඊයේ (ජූලි 15) සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මෙලෙස වීසා අයැදුම් කර ඇති පිරිසෙන් බහුතරයක් සිංහල බෞද්ධයන් වීම සුවිශේෂ කරුණක් බවත් මේ අයුරින් උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් හා වෘත්තීයවේදීන් රට හැර යෑමෙන් සිදුවන බුද්ධිගලනය හේතුවෙන් අනාගත ශ්‍රී ලංකාව ලෝකය තුළ විවිධ අංශයන්ගෙන් පසුබෑමකට ලක්වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මෙලෙස වැඩි පිරිසක් වීසා අයැදුම් කර ඇත්තේ මේ වසරේ බව ද අබේවර්ධන ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් මෙලෙස වීසා අයැදුම් කර ඇති රටවල් අතර යුරෝපා රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව මූලික ස්ථානයේ සිටින බව, වීසා නිකුත් කිරීමේ කාර්යාලවලින් තහවුරු වූ බවත් එයට ප්‍රධාන හේතුව වර්තමාන රජය ආර්ථිකය හැසිරවීම සහ රටේ ස්ථාවර භාවයක් නොමැතිවීම නිසා බව ද හෙතෙම පවසයි. රට තුළ මෙවන් තත්ත්වයක් ඇතිවීම ආර්ථිකයටත්, අනාගතයටත් අහිතකර බලපෑම් ඇති කරන්නක් බවද හෙතෙම පෙන්වා දෙයි.