ලිබියාවේ බෙන්ගාසි නාවික කඳවුරේ රුසියානු යුද නෞකාවකට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් පුද්ගලයන් දසදෙනකු තුවාල ලබා ඇති බව ලිබියානු බලධාරීහු අනාවරණය කරති.

Associated Press පුවත් සේවය වාර්තා කරන්නේ අදාළ නෞකාවට අවම වශයෙන් ඩ්‍රෝන යානා දෙකක් වැදී ඇති අතර තවත් ඩ්‍රෝන යානා හතරක්වත් වළක්වා ඇති බවයි.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ මෙම මෙහෙයුම සඳහා යුක්‍රේනයේ නිෂ්පාදිත මුහුදු ඩ්‍රෝන යානා හතක් භාවිත කළ බවයි.

නෞකාව ගිල්වා දැමූ බව යුක්‍රේනය ප්‍රකාශ කළද ලිබියානු බලධාරීන් තහවුරු කර ඇත්තේ නෞකාවට බරපතළ හානි සිදුව ඇති බවයි.

ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා බටහිර ලිබියාවේ භූමිය භාවිත කළේද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස නැගෙනහිර ලිබියානු බලධාරීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම රුසියානු ක්‍රෙම්ලින් ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කර ඇති බව AP පුවත් සේවය සඳහන් කරයි.