රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් මැයි 03 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම තෙදින නිල සංචාරය තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අදහස් හුවමාරු කිරීමට සැලසුම් කර ඇත.

මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමගද රුසියානු නියෝජිත පිරිස සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මැයි 04 වනදා ඔවුන් කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සංචාරය කිරීමට නියමිත අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමේ අවබෝධතා එකඟතාවයන්ට එළඹීමටද අදහස් කර ඇත.

මෙහිදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ, විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සහ සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු විවිධ අංශ පිළිබඳව අදහස් හුවමාරු කිරීමට නියෝජිත පිරිස බලාපොරොත්තුවේ සිටී.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය මැයි 05 වනදා නිමවා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.