2026 වසරේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම වෙනුවෙන් රුපියල් මිලියන 1000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරිණි.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හඳුනා ගැනීම, පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පහසුකම් සැලසීම මෙන්ම කල්ලඩි පොලිස් පුහුණු මධ්‍යස්ථානය පොලිස් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු විය.
එමෙන්ම පොලිස් මූලස්ථානය ඇතුළු පොලිස් ස්ථාන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම, නව වාහන ලබාදීම, පොලිසිය ඩිජිටල්කරණය සහ පොලිස් රෝහල් පහසුකම් සංවර්ධනය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා පොලිස් සේවය නවීකරණය කඩිනම් කළ යුතු බවත්, මත්ද්‍රව්‍ය මර්දනය සහ පුනරුත්ථාපන වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

