දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් (177 ක්) සම්මත වූ අතර, එයට විරුද්ධ ඡන්ද කිසිවක් ලැබී නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකිණි.

මෙම යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී ඇති අතර, නව පොලිස්පතිවරයාගේ නාමය අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු වනු ඇතැයි පැවසේ.

ඊට අමතරව, හෙට පස්වරු 3.00ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය. නව පොලිස්පති ධුරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන අයෙකු පත් වීමට හැකියාව ඇති බව අපේක්ෂා කෙරේ.