ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ආරාධනා කර තිබෙනවා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඊයේ (19) සංවිධානය කර තිබූ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාව යනු මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා විශාලතම වෙළඳපොළ වන අතර මෑත කාලය තුළ ඉන්දියානු සංචාරක පැමිණීම් ඉහළ ගොස් තිබේ. ඒ සඳහා නිදහස් වීසා ප්‍රවේශ පහසුකම සහ ඉලක්කගත ප්‍රවර්ධන වැඩසටහන් හේතු පාදක වූ බව අමාත්‍යවරයා පවසා සිටියා.

බෞද්ධ චාරිකා සහ රාමායන මංපෙත් ඇතුළුව ආගමික සංචාරක ව්‍යාපාරය සඳහා සැලකිය යුතු අවස්ථාවක් පවතින බවද, ඒ අනුව ආගන්තුක සත්කාර ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, උත්සව අවස්ථා සහ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට තව තවත් පැමිණෙන ලෙසත් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් සහ ආයෝජකයින් දිරිමත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.