අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ජූනි මස 12 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර අදාළ වාර්තා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.

එම කොමිෂන් සභාවේ විධාන ලබාගෙන, සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට දැනුම් දුන් අතර, ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ජුනි මස 12 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25 ක මුදලක් වැය කර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව, එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.