ආබාධ සහිත පුද්ගලයන් හඳුන්වාදීමේදී නිවැරදි පාරිභාෂික යෙදුම් භාවිත කරන ලෙස අමාත්‍ය උපාලි පන්නිලගේ අද (10) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කළ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මගින්ද මේ සම්බන්ධයෙන් පැහැදිලි යෙදුමක් තහවුරු කර ඇති බවය.

ඒ අනුව “Person with Disabilities” යන යෙදුම භාවිත කළ යුතු බවත්, ඔවුන් “විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්” ලෙස හැඳින්වීම සුදුසු නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

ආබාධ සහිත පුද්ගලයන්ටද සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන් ආහාර, ජලය, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහන සේවා මෙන්ම ආදරය සහ රැකවරණය අවශ්‍ය බව පෙන්වා දුන් ඔහු,
ආබාධ සහිත පුද්ගලයන්ට සමාජයෙන් වෙනස් පිරිසක් ලෙස නොසලකා සමාන අයිතිවාසිකම් සහ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු බවද අවධාරණය කළේය.

එබැවින් පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජයේද ඔවුන් හඳුන්වාදීමේදී නිවැරදි පාරිභාෂික යෙදුම් භාවිත කරන ලෙස ඔහු ගෞරවයෙන් ඉල්ලා සිටින ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>