ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී මානුෂීය සේවකයින්ට සහ සහන මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ප්‍රසිද්ධියේ සමාව ගැනීම සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම ඇතුළු නිර්දේශ මාලාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබුණද, වාර්තාව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත් ඊට කිසිදු පිළිතුරක් ලැබී නොතිබූ බව OHCHR වාර්තාව සඳහන් කරයි. දශකයකට වැඩි කාලයක් පුරා එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සිදු කළ විමර්ශන සහ වාර්තා මත පදනම්ව මෙම කෙටි වාර්තාව සකස් කර ඇති අතර, 2006 අගෝස්තු මාසයේදී මුතූර්හිදී ‘ඇක්ෂන් කොන්ට්‍රේ ලා ෆේම්’ සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු ඝා|තනය කිරීම ඇතුළු සිදුවීම් මෙන්ම ගැටුමේ අවසන් වසර කිහිපයේදී මානුෂීය සේවකයින්ට, රෝහල්වලට සහ සහන මෙහෙයුම්වලට එල්ල වූ ප්‍ර|හාර පිළිබඳව එහි විශ්ලේෂණය කර තිබේ.

රජය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට අමතරව, මූල්‍ය වන්දි, අනුස්මරණය, මනෝ-සමාජීය සහාය සහ අතුරුදන් වූවන් සොයා ගැනීම ඇතුළත් වන්දි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, අණ දෙන නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන්ට එරෙහිව ස්වාධීන විමර්ශන සහ නඩු පැවරීම් සිදු කිරීම, ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම සහ යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා බලහත්කාර අතුරුදන් කිරීම් දේශීය නීතියට ඇතුළත් කිරීම යන නිර්දේශ OHCHR මඟින් ඉදිරිපත් කර ඇත.

තවද, රෝම ප්‍රඥප්තියට සහ ජිනීවා සම්මුතීන්හි අතිරේක සන්ධානයන්ට එක්වීම, බරපතළ උල්ලංඝනය කිරීම්වලට සාධාරණ සැකයක් ඇති පුද්ගලයින් රජයේ, ආරක්ෂක හෝ රාජ්‍ය තාන්ත්‍රික ඉහළ තනතුරුවලට පත් නොකිරීමට පරීක්ෂා කිරීම, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ස්වාධීන කිරීම, වින්දිතයින් හා මාධ්‍යවේදීන් නිරීක්ෂණය හා හිරිහැර කිරීම නතර කිරීම සහ OHCHR සමඟ පූර්ණ සහයෝගීතාව ලබා දීමද රජයට යොමු කළ නිර්දේශ අතර වේ.

මේ අතර, ජාත්‍යන්තර ප්‍රජාවට සහ සාමාජික රටවල් වෙත ඉදිරිපත් කළ නිර්දේශ මඟින් ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම, විශ්ව අධිකරණ බලය යටතේ ජාතික අධිකරණ හරහා විමර්ශන හා නඩු පැවරීම්වලට සහාය වීම, වත්කම් තහනම් සහ සංචාරක තහනම් වැනි ඉලක්කගත සම්බාධක සලකා බැලීම, සාම සාධක හා හමුදා හුවමාරු සඳහා දැඩි මානව හිමිකම් පරීක්ෂාවන් කිරීම සහ සිවිල් සමාජයට සහාය දීම යෝජනා කර ඇත.

වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂිකා ස්මෘති සිං ප්‍රකාශ කළේ, ගැටුම් ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් පවතින දණ්ඩමුක්තිය අවසන් කළ යුතු බවත්, ළමුන් ද ඇතුළුව 583 දෙනෙකුට වැඩි පිරිසකගේ අස්ථි කොටස් හමු වූ චෙම්මනි වැනි සමූහ මි|නීවළවල අස්ථි කොටස් තවදුරටත් හඳුනා ගනිමින් තිබියදීත් වින්දිතයින්ට සත්‍යය, යුක්තිය සහ වන්දි තවමත් ඉටු වී නොමැති බවත්ය.